About Me

My photo
මම පාණ්ඩේ...ඒ කියන්නේ අහවලා.....ටිකක් අන්දොස් කේස් එකක්..පොඩ්ඩක් දේවල් දන්න ගොඩක් දේවල් නොදන්න ලෝකේ දිහා මධ්‍යස්තව බලන කෙනෙක්....(වැඩිද මන්ද?)කොහොමහරි කොටින්ම කිව්වොත් නැව ගිලුනත් බෑන් චූන් මනුස්පයෙක්.....මම ලියන්නේ මට හිතෙන දේ.ඒ කියන්නේ කොල්ලෙක්ට හිතෙන දේ..සමහර ඒවා අමුතුයි..මට මොකෝ??

Saturday, September 8, 2012

පියාණෙනි..

ගල් කුලක හයිය ගෙන
පිහාටුවක මෙලෙක සඟවන
ගිනිපිඹින දෑස් මවමින්
පිනිබිඳක සිසිල සඟවන
ගොරහැඬි වදන් කියමින්
මෙලෙක මුදු වදන් සඟවන
අප්පච්චියේ නුඹේ
සෙනෙහෙ වදන් වැල්
සිතෙහි මෙලෙක බව
කියෙව්වෙමු අපි
නුඹට හොරෙන් නුඹේ
දෙනෙත් කවිපද
අපිට පබඳින විට..

මව්නි..

කුසෙහි රඳවන්
තොටිල්ලක් වන්
කිරි කර දුන්
රුහිරු ගඟුලැල්
කඳුළු හංගන්
සිනහ දන්දුන්
තුරුළු කරන්
මඟ කියාදුන්
අම්මේ නුඹේ
උණුහුම
ලෝකෙටම සිසිලයි
උණුහුමෙන් දෙන
සෙනෙහෙ ගඟුලෙන්...

ආයිමත් ඉස්කෝලෙට

යන්න ආසයි ආයිමත්
ඉස්කෝලෙට දවසකට හරි
කළු ලෑලි ඩෙස් බංකු
යකඩ පුටු මේස
අතර සුවඳ විඳින්නට
ගුරුවරුන්ගේ වීරකතා
පඬි කතා එක්ක
පොඩි ගුටියකුත් කන්න
චෝක් කෑල්ලක්
කඩල අරන්
තවකෙකුට ගහන්න
පොඩිපහේ කට් එකකින්
මුහුදේ පොඩ්ඩක් නාන්න
ඇරුනාම ඉස්කෝලේ
පොඩි වලක් බහින්න
රටේ නැති ලොකු කතා
කෙල්ලෝ බල බල කියන්න
ආයිමත් එනවනම්
ඒ ලස්සන දවස් ටික
හැබැයි ඔන්න
විභාගනම් නැතුව හරිය........???

මගේ මළගම

දවසක් ඒවි
මගේ පන්හිඳ
නවතීවි
දවසක් ඒවි
මගේ කියවිල්ල
නවතීවි
දවසක් ඒවි
මගේ සද්දයක්
නැතිවේවි
පොඩ්ඩක් වරෙන්
ගේ පැත්තේ
හැරෙන තැන
සුදු කොඩි තියේවි
අතරින් පතර
ගොක් කොලත් එක්ක
මතක ඇතුව
යන්න කලින්
අම්මටයි තාත්තටයි
වචනයක් කතාකරලා
පලයන්.....

Saturday, September 1, 2012

නිදහස් අධ්‍යාපනය(මද?)

නිදහස් අධ්‍යාපනය කියලා ගොඩක් දෙනෙක් කෑගහන තර්ක කරන මේ දවස්වල තියන කතාබහ ගැන මගේ මධ්‍යස්ථ අදහසක් දක්වන්න හිතුනා.මුලින්ම කියන ඕනේ මේක කිසිම දේශපාලනික මතවාදයකින් බැහැරව කෙරෙන අදහස් දැක්වීමක්.මම කාටවත් කඩේ යන්නේ නෑ..හැබැයි මේකෙදි සමහර පටු මතවාද දරන අය පිළිගන්න අකමැති කරුණු කාරණා මතුවෙයි.ඒකට මට කරන්න දෙයක් නෑ.මම කතා කරන්නේ විවෘතව.හරි මම කෙලින්ම කතාවට බහින්නම්.මම කතා කරන්න බලාපොරොත්තු වෙන එක දෙයක් නිදහස් අධ්‍යාපනයක් ඇත්තටම තියනවද කියන මතය.අනෙක පුද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධ වීම.
නිදහස් අධ්‍යාපනය ඇත්තටම නිදහස්ද?මෙන්න මේකට උත්තර දෙද්දී ඔය උගුර ලේ රහ වෙනකන් කෑ ගහන සහෝදරවරු මෙන්න මේ ප්‍රශ්නවලට හිතේ කහටක් නැතුව අවංකව උත්තර දෙන්න.
  • ඔබතුමන්ලා ඉගෙන ගත්තේ පාසැලෙන්ම පමණද?
  • පාවිච්චි කරේ පාසලෙන් දුන් පෙලපොත්ම පමණද?
  • කිසිම දාක උපකාරක පන්තියකට ගිහින් නැද්ද?
  • එහෙම උපකාරක පන්ති යද්දී,අතිරේක පොත්පත් ගනිද්දී තමන් එක්කම නිදහස් අධ්‍යාපනය ලබන තමන්ගේ එහා පැත්තේ ඉන්න දුප්පත් මිතුරාට මේ තමන්ට ලැබෙන දේ ලැබෙන්නේ නෑ නේද කියලා හිතුනද?
දැන් මම කතා කරන්නම් ඒවා ගැන.ඔබතුමන්ලා ඔය කෑගහන නිදහස් අධ්‍යාපනයේ මහිමය හැමෝටම ලැබෙන්නනම් ඉස්කෝලේ යන කාලේ ඉඳලම උපකාරක පන්ති පවත්වන එකට විරුද්ධ වෙන්න.ඔච්චරටම සමානාත්මතාවය අගය කරනවනම් දාස් ගණන් දීල ගෙදරට ගුරුවරු ගෙන්නගන්න එක නවත්තන්න.ඉස්කෝලෙන්ම ඉගෙනගෙන විභාගේ ලියන්න.දැන් ඔබතුමන්ලා ඉගෙනගන්න විශ්වවිද්‍යාලයේ මාසෙට ලොකු ගානක් ගෙවන පාසල්වල ඉඳල ආපු ශිෂ්‍යයෝ එක්ක එක බත් පත කනවද?බරපතල විසංවාදයක් නේද සහෝදරවරුනි?මොකද ඔවුන් ඔතනට එන්නේ නිදහස් අධ්‍යාපනය කියන ප්‍රවාහය හරහා නෙවෙයි.ඔබතුමන්ලා මම මුලින් කිව්ව විදියට පොත්පත්වලට,උපකාරක පන්තිවලට වියදම් කරේ සල්ලි තියන නිසා නේද?එතකොට දුප්පත් අම්මල තාත්තලාගේ ළමයි ගැන පව් කියලා හිතුනේ නැද්ද?සරලවම එපමණයි නිදහස් අධ්‍යාපනය ගැන.

දැන් මම එන්නම් මගේ දෙවන කරුණට.පුද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධ වීම.මේකටත් මට කලින් තර්කෙම පොඩ්ඩක් අදාල කරගන්න වෙනවා.ඔබතුමන්ලා AAA අරගෙන කැම්පස් යන්න පුද්ගලික උපකාරක පන්ති වලට ගියානම්,තමන් ආස කරන,තමන්ට හැකියාවක් තියන විෂයයක් ඉගෙන ගන්න තවත් ළමයෙක් පුද්ගලික විශ්වවිද්‍යාලයකට යන එකට විරුද්ධ වෙන එක හරි මදි වගේ නැද්ද?ඒ වගේම CSS තියනවනම් ලංකාවේ ඕනෑම විශ්වවිද්‍යාලයකට ඇතුලත් වෙන්න එක සුදුසුකමක් බව කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් නිකුත් කරන අයදුම් පත්‍රය සහිත අත්පොත.ඔබතුමන්ලා එහෙම ශිෂ්‍යයන්ට ඉගෙනගන්න දෙන්න එපා කියනවනම් ඔවුන් උපාධියක් ලබන්න සුදුසු නෑ කියනවනම්,ඔබතුමන්ලා වක්‍රාකාරව කියනවා දුෂ්කර පළාත්වලින් අඩු "Z"අගයක් යටතේ කැම්පස් එන්නෙත් මැට්ටෝ කියලා.එහෙම නේද?ඔබතුමන්ලාගේ තර්කය සාධාරණ වෙනවා කැම්පස් යන්නේ 1000ක් නම්,ඒ 1000 island rank 1- 1000 දක්වා වෙනකන් ඇතුලත් කරගන්නවනම්.සරලවම මෙපමණයි..කැම්පස් සටන ජයගන්න ඔබතුමන්ලා පුද්ගලික පාර්ශවයක සහය ලබාගත්තානම්,රැකියා තරඟය ජයගන්න තවත් අයෙක් පුද්ගලික පාර්ශවයක සහය ලබාගන්න එකට විරුද්ධ වෙනකොට නිකන් ආත්ම කින්ඩියක් වගේ ඇති වෙන්නේ නැද්ද???

පොඩ්ඩක් හිතලා බලන්න..තමන් තමන්ගේ අනාගතය හදාගන්නවනම්,ඉස්කෝලේ එක මේසේ එකට බත් එක කාපු තමන්ගේ මිත්‍රය තමන්ගේ අනාගතේ හදාගන්නවට ඔය විදියට විරුද්ධ වෙන්න එපා.ඒ වගේම තමන්ගේ ළමයින්ට සේසතම විකුණලා හරි උගන්නන්න බලන ඉන්න අහිංසක අම්මලා තාත්තලත් ඉන්නවා කියලා අමතක කරන්න එපා.තව එකක්..හොරෙන් ලිපි හදල ගන්න මහපොළ තියනව නේද??එක පුලුවන්නම් ඔය අසරණ ළමයෙක්ට අරන් දෙන්න..ඒක අරගෙන බොන්නයි,කෙල්ලොන්ටයි,වෙන වෙන වැඩවලටයි වියදම් නොකර..එතකොට ඔය උගුර ලේ රහ කරගන්නේ නැතුව තමන් බලාපොරොත්තු වෙන දෙයින් හරි අඩක්වත් කරගන්න පුළුවන් වෙයි.