About Me

My photo
මම පාණ්ඩේ...ඒ කියන්නේ අහවලා.....ටිකක් අන්දොස් කේස් එකක්..පොඩ්ඩක් දේවල් දන්න ගොඩක් දේවල් නොදන්න ලෝකේ දිහා මධ්‍යස්තව බලන කෙනෙක්....(වැඩිද මන්ද?)කොහොමහරි කොටින්ම කිව්වොත් නැව ගිලුනත් බෑන් චූන් මනුස්පයෙක්.....මම ලියන්නේ මට හිතෙන දේ.ඒ කියන්නේ කොල්ලෙක්ට හිතෙන දේ..සමහර ඒවා අමුතුයි..මට මොකෝ??

Wednesday, September 3, 2014

දයාබර සිහින ලුහුබඳින්නෝ....

මාතෘකාව කොයි තාක් දුරකට මගේ ලිපිය හා සම්බන්ධ වෙයිද කියල මට තේරෙන්නේ නෑ..හැබැයි මට සාපේක්ෂව ඔවුන් සිහින ලුහුබඳින්නෝ.. බොහොම දයාබර, තමන්ගේ සිහින ඉස්සරහ බොහොම දරුණු ලුහුබඳින්නෝ..මේ ලිපිය ටිකක් දිග වෙයි..ඒ වගේම මේ ලිපිය ටිකක් දුරට පෞද්ගලිකයි..එක නිසා කියවද්දී කෙනෙක් ත ඇරලා දාන්න පුළුවන්..කමක් නෑ..හැමදාම රටේ ලෝකේ කාටත් අදාල දේ ලිවට අද මම ලියන්නේ මගේ සතුට වෙනුවෙන්..කෙනෙක් මේක කියවල තව කෙනෙක්ට කියන්න පුළුවන් මෙන්න මෙහෙම.. "දැක්කද බං අරුගේ පෝස්ට් එක..අහවල්ලු මාකට් කරලා ඌ පොර, ඌ උන් එක්ක ඉන්නේ කියල පෙන්නන්න හදනවා බං.." සහෝදරවරුනි මගේ උත්තරේ මේක.. "මට *කද?"
මචංලා මම මේක අමුවෙන් ලියන්නන්..මට උඹල ගැන ලියද්දි ඔෆීෂියල් වෙන්න බෑ..මේක මම උඹල වෙනුවෙන් ලියන්නේ මට උඹල වෙනුවෙන් දෙන්න පුළුවන් උපරිම දේ මේක නිසා..මම මගේ අනුපිළිවෙල මෙහෙම හරිගස්සන්නම්..මට බෑ උඹල එක,දෙක,තුන කියලා රෑන්ක් කරන්න..එක නිසා උඹලව මට හමුවුන කාලය නිමිත්තක් කරගෙන මේක පෙළගස්සන්නම්..
මුලින්ම කතා කරන්නේ මෙන්න මේකා ගැන...මුලින්ම හම්බුනේ මොන්ටිසෝරියේදී..ඒ කාලේ ඉඳලම මුගේ ඇඟේ තිබ්බේ ජෝගිය, නළුකම, පිස්සුව, මටත් ඌටත් පොදු හැකර කට..මොන්ටිසෝරියෙන් පස්සේ අවුරුදු 6කට මමයි උඹයි වෙන්වෙනවා..ඉස්කෝල දෙකක..පහේ ශිෂ්‍යත්වයට පින්සිද්ධ වෙන්න මේකා එනවා මගේ ඉස්කෝලෙට..මට එනවා ආරංචිය මේකා ආවා කියලා..මම හිතාගන්නවා දැන් ජෝගිය හරි..පිස්සුවක් තමයි වෙන්න යන්නේ කියලා..ඉස්කෝලේ පිනකට හෝ අපේ කරුමෙකට මමයි මේකයි එකට වැටුනේ නෑ පන්තිවල..අන්තිමේදී ඒ කරුමේ ඉස්කෝලෙට කැරකිලා අපේ පින පහත් උනා..ඕලෙවල් එකට ක්ලාස් යන්න ගත්තා..කෙල්ලොන්ට කනේ ඇඟිලි ගහගන්නකන් කියෙව්වා..සමහර වෙලාවට කෙල්ලොන්ගේ කොල්ලොන්ගෙන් කන්න ගිහින් ඔන්න මෙන්න ගිය වෙලාවලුත් තිබ්බා..එකම කෙල්ලට පොඩි පොඩි ලයින් පාරවල් අපි හවුලෙත් දැම්ම මයේ හිතේ..උඹ මේක කියවනවානම් අර අරයා..වමෙන් ලියන කෙනා??කොහොමහරි අපේ පින හොඳටම තිබ්බා..බැරි මරගාතේ මැත කරන්න ඒලෙවල්වල සෙට් උනා..ඔන්න සුපිරි ජෝගිය පටන් ගත්තා..අවුරුදු ගානක් තිස්සේ ඉස්කෝලේ නැවතිලා තිබුන සයන්ස් ඩේ එක පනගහලා ගන්න පිඹුරුපත් සකස් කරා..පෙරමුණේ රාලලා අපි..කරා සුපිරි නාට්ටියක්..ගාල්ලේ ඉස්කෝල ඔක්කොටම හොඳම සයන්ස් ඩේ එක පෙන්නලා යැව්වා..
මේක උඹට මතකද දන්නේ නෑ..මට මතක හැටියට කොමර්ස් ඩේ එක..උදේ කතා කරලා කිවා නාට්ටියක් කරපං මචං කියලා..සෙට් උනේ මමයි උඹයි අපේ නාලක මහත්තයයි..දඩිබිඩි ගාලා කතා උනා..මාමයි බෑනයි කරමු කියලා කතා උනා..නාලක මාමා උඹ බෑනා..මම දඩිබිදිගාල ඇඳුම් ටිකක් හොයාගෙන දඩබඩ ගාලා මක්කහරි මූනේ උලලා මුලින්ම නාලකයා ගියා ස්ටේජ් එකට..ඔන්න ආවා උඹේ චාන්ස් එක..ගියේ මෙන්න මේ ටික සින්දුවේ.."මගේ සුදු මාමණ්ඩිට..." කාගේ හෝ උවමනාවකටද මන්දා සවුන්ඩ්ස් කරපු එකා සින්දුවේ මේ කෑල්ල රිපීට් කරා.."මගේ සුදු, මගේ සුදු, මගේ සුදු" ඔන්න ඔහොම..මොන නුවණක් පහල උනාද මන්දා උඹ යමින් ගමන උඹේ ඇවිදපු රටාවටම ඒකත් රිපීට් කරා..මට දැනුන හැටියට එදා ඒ ඩේ එකේ හොඳම කෑල්ල උනේ ඒක..මම එදා දැනගත්තා උඹ කවදාහරි උඹේ හීනේ ජිවත් කරනවනවා කියලා..ඒලේවල් කරලා මම එකකට යනවා..උඹ මාතර යනවා..ඒවායේ අතුරු කතා ගොඩයි..හැමදාම වගේ මම,අපි උඹට කිවත් හීන ජිවත් කරවන්න කියලා උඹ මොකද්දෝ හේතුවකට එලේවල් පස්සේ දිව්වා..එතනින් පස්සේ මට දවසක් උඹෙන් කෝල් එකක් එනවා.."මචං උඹ කරන්නේ Logistics නේද?කොහොමද බන ෆීල්ඩ් ඒක? කියක් යනවද ඩිග්‍රී එකට..මචං අපේ පුස්සේ Journalism කරේ කොහෙද?ඒක කොහෙද තියෙන්නේ.." ඒ විස්තර ටික කියලා ,උඹට මතකද දන්නේ නෑ මම කිව එක.."යකෝ දැන්වත් උඹ ආස පැත්තකට පලයන්..ඒක කරපන්.."ඔය අතරේ දවසක් උඹ මට කතා කරලා මෙහෙම කියනවා.."මචං දෙරණේ පොඩි චාන්ස් එකක් සෙට් උනා..මම යනවා බං." හැමදාමත් කියනවා වගේ මම කිවේ "පලයන්, එතන තමයි උඹට හරි යන්නේ" කියලා..අන්තිමේ උඹේ හීන වලට පාර කැපුනා..නෑ..කපාගත්තා..මේ ඔක්කොම උඹේ මහන්සිය..කැපවීම,දැනුම බං..මට අම්බානෙක සතුටුයි කියන ඒක අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ..උඹට ලැබෙන ජනතා සම්මාන වලට මම පොඩි උදාහරණයක් දෙන්නම්..අපි ට්‍රිපක් ගිහිල්ල ඉන්න ගමන් දවසක් ටීවී බලනවා..දාලා තිබ්බේ දෙරණ..ගියේ උඹේ ප්‍රෝග්‍රෑම් එක..බලන ගමන් අපේ නුවර ඉන්න එකෙක් මෙහෙම කියනවා..මචං මේ ප්‍රෝග්‍රෑම් එක කරන එක පට්ට නේ? ඌ සිරාවටම කරනවා..ඇතිනේ?

දෙවෙනියට කතා කරන්නම් එක වසරේදි හම්බුන මේකා ගැන..ඒ කලේ ඉඳලම කොටයි..හැබැයි ටිකක් පණ්ඩිතයා..කොල්ලොන්ට ගහනවා..හැබැයි හොඳයි..බොක්ක උපරිමයි..ඒ දවස්වල ඉඳලම මේකට තිබ්බ පොඩි පොඩි කැටයම් වැඩ කෑලි දාන ගතියක්..චිත්‍ර අඳිනවා..එක එක වැඩ..හැබැයි ඉස්කෝලේ කාලේ මේකා ප්‍රසිද්ධ උනේ ක්‍රිකට් වලට..ඒකෙත් ඉතිහාසගත විකට් කීපර් කෙනෙක් වෙලා තමයි නැවතුනේ...එක්කෝ ඒ කතා ඕනේ නෑ..අපේ සෙට් එකම මැත,බයෝ කරද්දී මේකා ගියා ආර්ට්ස් කරන්න..එලේවල් ගොඩ..පස්සේ කාලයක් ක්‍රිකට් ගැහුවා..ඔය ඉන්න අතරේ මූර්ති හැදුවා..චිත්‍ර ඇන්දා..ගෙදර ඩිසයින් කරා..මේ අතරේ මේකා යනවා Journalism ඉගෙනගන්න..එතනින් එලියට එන්නේ එතනට ගිය අපේ එකාට වඩා මුහුකුරා ගිය එකෙක්..හැබැයි අර පණ්ඩිතයා එහෙම්මමයි..මේකා එක්ක නිතරම මතවාදවලින් ගැටෙන එකෙක් ඉන්නවනම් ඒ මම..අපි දෙන්න එක්ක කියෝගත්තු නැති මාතෘකාවක් නෑ මගේ හිතේ..හරි අමාරුවෙන් දෙන්නම එක දේකට එකඟ උනොත් වෙන්නේ..අන්තිමේදී හැමවෙලේම ආස කරා වගේ සාධාරණ සමාජයක් උදෙසා උගේ මෙහෙවර ඉටු කරනවා..ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු දෙකයි..ජාතික සම්මාන තුනයි..කියන්න වචන නෑ මිත්‍රයා..උඹ ගැන උඩ එකා ගැන තරම් හතර අතේ මට කියන්න දේවල් නෑ..මොකද උඹ ඉස්කෝලේ ඉන්නකං කරේ ක්‍රිකට් ගහපු එක..නැත්නම් මොකක්හරි පොඩි කොක්කක් දාගන්න එකනේ..එක නිසා උඹ ගැන ලියපු ටික උඹ වගේම කොට උන එක ගැන තරහ වෙන්න එපා..ඒවා මේකේ ලියන්න බැහැනේ...උඹට හම්බෙන ජනතා සම්මාන නම් නිමක් නැහැනේ නේ? ඒවා ගැන කුමන කතාද...ඒ ජනතාව රටේ හැම මුල්ලකම, හැම තරාතිරමකම ඉන්නවනේ..

හරි දැන් යන්නේ අපේ මාස්ටර් මයින්ඩ් එකකට..හැමතිස්සෙම හැංගෙන්න හදන මෙන්න මේකා...මචං අදනම් හැංගෙන්න දෙන්නේ නෑ පුතේ...බොරු කියන්නේ මොකටද මට උඹව සෙට් උනේ ඒලේවල් කරද්දී..මුලින්ම මට අල්ලලා ගියේ ලප වානර.. මතකයි නේ? ස්පෝර්ට්ස් මීට් එකේ ටෙන්ට් ගහන්න දෙන්නේ ඒලේවල් කරන අපිට..ඉතිං ඕකේ හොඳම ටෙන්ට් එක හැදුවේ මෙන්න මේ අපේ වීරයා..අයිඩියා එක තමයි ලපවානර..ඒ දවස්වල ප්‍රසිද්ධ "දඟර වලිග ලප වානර" කාටුන් එක..මතක විදියට හොඳම ටෙන්ට් එක උනේ ඒක..ඒ හරහා සයන්ස් ඩේ එකේ පෙරමුණේ රාලලා වීම හා එක පිස්සුවක් ඔලුවේ තිබීම යන සාධක නිමිති කොට තෝ මම උඩම කියපු එකා හා තවත් පිරිවරක් ගැන්සි ගත වෙනවා..මහා පාන්දර ලයිබ්‍රරි ඩේ එකට කියලා Documentary හැදුවා..තව තව එක එක ෂෝර්ට් ෆිල්ම්, පිස්සු ඩාන්ස් , සිංදු, කැරලි ගහපුවා කීයක්ද? එලේවල් හොඳට පාස් වෙලත් තමන්ගේ ආසාව තිබ්බ කාර් බාර් එක්ක ඔට්ටු වෙන එක ගැන වැඩිදුර ඉගෙනගෙන තනියමම කාර් එකක් හැදුවා..ඒ හරහා එක පැත්තකින් තමන්ගේ හීනයක්‌ හැබෑ කරගත්තා..දෙවෙනි තුන්වෙනි හීන මේ දවස්වල හැබෑ කරගෙන යනවා..කවදාහරි ලංකාවේ හොඳම වීඩියෝ සංස්කරණ ශිල්පියෙක් වෙන ලකුණු දැනටම පෙන්නුම් කරලා හමාරයි..අපිටනම් මේකා ඕවා පෙන්නුවේ ඉස්කෝලේ කාලේදී..කොහොමහරි හැංගි හැංගි තමන්ගේ වැඩ එලියට දාපු එකා අන්තිමේ එලියට ආවා..සතුටුයි මචං..උඹ දිග ගමනක් යනවා කියන එක අහන්න දෙයක් නෑ ඉතිං..මේක ලියන්න මෙච්චර පරක්කු කරේ උඹත් එලියට එනකං හිටපු නිසා..

මෙහෙමයි දැන් මේක ලිව්වම එකෙක් මෙහෙම හිතයි..හීන ජිවත් කරවපු උන් ඉන්නේ මෙච්චරද? නෑ..හැබැයි මම හොඳටම දන්න උන් ඉන්නේ මෙච්චරයි..මට උන් තුන්දෙනාව ලොකුයි..උන්ව තව මාකට් කරන්න මට ඕනේ..මම එක කරන්නේ මට ඒකෙන් සතුටක් ලැබෙන නිසා..මට ඕනේ දේ මම කරා..මේක බොහොම සංක්ෂිප්තයි හොඳේ..ලියනවනම් පිටු ගණන් ලියන්න තිබ්බා..උඹලගේ නම් මේකේ නොදා ලින්ක් දැම්මේ, නම් දැම්මොත් මේකේ තියන හැමෝටම අදාළ ගතිය නැති වෙයි කියලා...

මොකද්දෝ හේතුවකට මම මගේ හීන අමතක කරා..එක නිසා උඹලගේ හීන හැබෑ උන එක මගේ කරගෙන මම සතුටු වෙනවා..එක අතකින් මට එකට සමාවෙයන්..අනිත් අතින් මට එකට ඉඩ දීපන්..මම හිතනවා මේක ලියල එලියට දැමීම හා උඹලව මගේ බොක්කවල් කියලා මාකට් කිරීමේ සාධාරණ අයිතියක් මට තියෙනවා..මට අවංකවම උඹල තුන්දෙනා ගැන සන්තෝසයි..මගේ තියන සන්තෝසේ මේක හරහා එලියට දාන්නයි මට ඕනේ උනේ..

ඉතිං මේක කවුරුහරි පොඩි එකෙක් කියවනවානම් මල්ලියේ, නංගියේ...උඹලගේ හිත්වල ආසාවල් තියනවනම් කවදාවත්,මොනම හේතුවක් නිසාවත්, කවුරු නිසාවත් මැරෙන්න දෙන්න එපා..මේ ඉන්න අයියල තුන්දෙනා තමන්ගේ හිතේ තිබ්බ හීන ජිවත් කරවපු උන් තුන්දෙනෙක්..කවදාවත් අරය වෙනුවෙන් මෙයා වෙනුවෙන් හෝ සමාජයේ තැනක් බලාපොරොත්තුවෙන් තමන්ගේ හීන අතාරින්න එපා..තමන් දක්ෂ දේ කරපං..වෙන අයගේ හීන ජිවත් කරවන්න තමන් ආස දේ මරන්න එපා..ජිවිත කාලෙම විඳවන්න වෙනවා..හැබැයි.., හීනේ හරියට ජිවත් කරවපන්..උපරිම සාධාරණයක් කරපං..මේ උඩ කියපු උන් තුන්දෙනා වගේ..
ජය!!!

Tuesday, April 8, 2014

කුපාඩියා

කොන්ඩෙත් කළු
මූණත් කළු
ඒකටම සෙට් වෙන
තොල් දෙකත් කළු
ඒ මදිවට
නියපොතුත් කළු..
හැබැයි මහත්තයෝ
නෝනට කියපන්
අපේ හිත් සුදුයි
සුදට ඉන්න
හිත් කළු
පාහරයොන්ට
වැඩියෙන්....

යාවි දවසක..

කවදාහරි දවසක
හැරිලා බලයි
ගෙවපු හැටි
ජිවිතේ දවස් ටික..
හිනාවෙන්න
දේ තිබුනොත්
යන්න යනවා
ඇස දෙකට
කඳුළු පුරෝගෙන...

යාවි

කවදා හරි
යන්න යාවි
අරං යන්න
ලොකු දේවල් නෑ..
එහෙම උනත්
පොඩි පොඩි දේ
හුඟක් තියනවා
ගොඩක් ලොකුවට
අරං යන්න....

ගුල්සාරි....

ගුල්සාරි
දවසක් එයි
කවදක හරි
උඹයි මමයි
ඉස්සර වගේ
ස්ටෙප්ස් බිම්
පීරාගෙන
දූලි වලා
ඉරාගෙන
නිදහසේ ඉගිල්ලෙන...
මතක නේද
උඹ එනකන්
තරු ලපයක් ඇති
දුඹුරු වෙළඹක්
බලන් ඉන්නවා
උඹේ ලඟට
නැවත එන්නට...

-තනබායි බකාසොව්-

පිටපතත් මගේ
ලොකේෂන් මගේ
යනෙන තැනක
ඉන්න තැනක
මම රඟනවා
මොකද මේක
රඟ මඩලක්
කවුරු කවුරුත්
පොඩි චරිත
ලොකු චරිත
රඟපාන...
අපි අතරේ
සබඳකම
තමයි උඹලට
මගෙන් ලැබෙන
සම්මානේ....

Monday, November 11, 2013

මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා..

අවුරුද්දකටත් වැඩි කාලෙකට පස්සේ ආයෙම මේ පැත්තේ එන්න හිතුනා හැමෝම කතා වෙන "සමනල සංධ්වනිය" ගැන මගේ අදහසකුත් කියාගෙනම.හැමෝම මේ ගැන එක එක දේවල් කියනවා.සමහර අයට හොඳයි.සමහර අයට නරකයි.සමහර අයට මධ්‍යස්තයි.මට දැනෙන හැටියට මේ චිත්‍රපටිය බලන්න යන කාණ්ඩ කිහිපයක් ඉන්නවා.මේ වගේ..
  • සංධ්වනිය කියන එකේ මහප්‍රාණ "ද" ගැන හිත හිත මහප්‍රාණ විදියට යන අය
  • සමනළ කෑල්ල ඔලුවේ තියාගෙන කොල්ලොන්ගේ ෆන් එකක් බලන්න යන අය
  • මෙලෝ අදහසක් නැතුව කවුරුවත් කිව්වට යන අය
  • "මට මගේම නොවන ආදරයක්" සින්දුව තියන ෆිල්ම් එක බලන්න යන අය
  • "සමනළ සංධ්වනිය" බලන්න යන අය
හොඳයි..මේකෙන් මුල් කොටසේ අයට මේක දිරවන්නේ නෑ..හේතුව ඒ අයට එකේ තියන හාස්‍ය වටහාගන්න අමාරුයි..ඒවා ඒ අයට කුණුහර්ප..
දෙවෙනි කොටසට තේරෙන්නේ ඒ හාස්‍යජනක කොටස විතරයි.ඒ අයට ෆිල්ම් එකේ අනිත් ඔක්කොම ගොන්.
අනිත් අයට හිතෙන්නේ දුන්න සල්ලි අපරාදේ..
හතරවෙනි අයට සින්දුව ෆිල්ම් එක පුරාම යන එක අවුල්..ටක් ගාල එක පාරින් ඉවර වෙන්නේ නැති නිසා..
අන්තිමට සමනළ සංධ්වනිය බලන්න යන අය.අන්න ඒ අයට මේකේ උපරිම වින්දනය ලබාගන්න පුළුවන්..
මේකේ මතුපිට කතාව බොහොම සරළයි..අහම්බෙන් හමුවෙන ලියුමක් වටා තමයි මේ කතාව ගෙවෙන්නේ.කෙනෙක් මේක මහා විකාරයක් විදියට දකින්න පුළුවන්.ඒත් මට දැනෙන හැටියට මේ කතා සාරය හරි ප්‍රබලයි.ඒකෙ බොහොම සියුම් විදියට ඒක ස්පර්ශ කරනවා..දෙවනුව යථෝක්ත ගීතය..මට හිතෙන්නේ මේ කතාවට උපරිම සාධාරණයක් කරන්නේ මේ ගීතය..ගීතයේත් මෙන මේ කොටස.. "මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා"
පොඩි එකා අතට අහම්බෙන් ලියුම ආපු වෙලාවේ ඉඳල ඌ ඒක කියවන ගමන එකේ ඉන්න "පුණ්‍යා" ව හිතෙන් උගේ කරගන්නවා.ඒක ආදරය නෙවේ.ඒක ඒ කාලෙට එන අමුතු හැඟීමක්.මේක සරලවම අදාළ කාලේදී ඕනෑම පිස්සු නටන කොල්ලෙක්ට වෙන දෙයක්.(එහෙම නොවෙන කෙනෙක් ඉන්නවනම්,කොලු භාවය ගැන ප්‍රශ්නයක්) එතන ඉඳං වෙන කාගේවත් ආදරයක් ඒ කොල්ලා උගේ ආදරයක් (වගේ දෙයක්) කරගෙන පසුතැවෙනවා.ඒ අතරේම ඒ කොල්ලට තමන් කරපු දේ නිසා මේ නාඳුනන "පුණ්‍යා"ට වැරද්දක් වුනා කියන හැඟීමත් තියනවා.මොකද තමන්ගේ අතේ තියෙන්නේ කුළුඳුලේ ප්‍රකාශ කරපු ආදරයක්.මෙන්න මේ හේතුන් එක්ක "මට මගේ නො‍වන මගේම ආදරයක් තිබුණා" කියන වචන ටික උඩ මේ අපූරු නිර්මාණය දිග හැරෙනවා..
එකක් මේ කොල්ල හිතන විදියට ඒ කොල්ලගේ ළඟ තියෙන්නේ වෙන කාගේවත් ආදරයක්..හැබැයි ඒක ඒ කොල්ලට අයිති නෑ.ඉතින් තමන් කාට හෝ බරපතල වැරද්දක් කරා නේද කියන හැඟීමක් මේ කොල්ලට තියනවා.මේක අවසානයේ කතා කෙරෙන "වේදනාව" ඒ පසුතැවීම හරහා ආපු දෙයක් වෙන්නත් පුළුවන්..
දෙවනුව මේ කොල්ල හිතින් "පුණ්‍යා" ට ලං වෙලා ඒ ආදරය නොලැබීම ගැන විරහවෙන් උපන්න "වේදනාව" ත් යම් ප්‍රමාණයකට වෙන්න පුළුවන්..
මට හිතෙන්නේ මේ චිත්‍රපටියේ අන්ත දෙක මේකයි..මම වැරදි වෙන්නත් පුළුවන්..
අන්තිමේ මම දකින්නේ ජයන්ත චන්ද්‍රසිරිට පින්සිද්ධ වෙන්න ලස්සන නිර්මාණයක් රස වින්දා..මට දැනෙන හැටියට නළු නිළියන් සියල්ලම උපරිම සාධාරණයක් කරනවා..ලස්සනයි..හොඳයි..කතාව තාත්විකයි..බලන්න වටිනවා..

ප.ලි :
කරුණාකර මෙම චිත්‍රපටිය තිරගත වන අවස්ථාවේ ප්‍රචාරය වන්න වූ පූර්ව ප්‍රචාරක පටි පචාරය වද්දී "රන්ජා" නම් අසහාය වීර කාව්‍යයේ පූර්ව ප්‍රචාරක පටය පෙන්වද්දී ඇස, කන යන දෙක තදින් වසාගන්න..මක්නිසාද යත් "සමනළ සංධ්වනිය" හරහා ලැබෙන්නා වූ වින්දනය සුන්නද්දුලි වී ලාංකීය සිනමාව ගැන බරපතල දුකක් ඇති වනු ඇත..